අන්තර්ජාලය අප වෙත පැමිණෙනුයේ ගෝලීය සබඳතා ඇති කරලීම පහසු කිරීම ඇතුළු වාසි රැසක් උදා කරමිනි. එනමුත් සයිබර් අවකාශය භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව සීග්‍ර වශයෙන් ඉහළ යාමත් සමඟ සයිබර් තර්ජන හා අන්තරායන් ද බහුල වශයෙන් ඉහල යාමක් දක්නට ලැබේ.
විශේෂයෙන්ම, ඔබ කාන්තාවක් ලෙස අන්තර්ජාලයේ සැරිසරන විට පුරුෂයෙකු නොවිදින ආරක්ෂක ගැටළු සහ බාධක වලට මුහුණ පෑමට සිදු වේ. සයිබර් අවකාශය හරහා සිදුවන ලිංගික හිරිහැර කිරීම් , තර්ජනය කිරීම , අනවසරයෙන් පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ බෙදා හැරීම් ආදිය සයිබර් අවකාශයේ කාන්තාවන් මුහුණ දෙන ගැටළු කිහිපයකි. මේවා සයිබර් අවකාශයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ අපයෝජනයන් ය.
ඔබ නැණවත් කාන්තාවක් ලෙස, සෑම විටම සයිබර් අවකාශයේ පවතින අන්තරායන් පිළිබඳව දැනුවත්ව සිටිය යුතු වන අතර, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ සයිබර් අපයෝජනයන්ගෙන් ඔබව ආරක්ෂා කර ගැනීමට ඔබේ කුසලතා වර්ධනය කර ගත යුතුය.
කාන්තාවක් ලෙස ඔබට මහුණ පෑමට සිදු විය හැකි සයිබර් තර්ජන කිහිපයක් පහත දැක්වේ.
සයිබර් හිරිහැර කිරීම (Cyber bullying)
සයිබර් හිරිහැර කිරීම යනු පුද්ගලයෙකු අපහසුතාවයට පත් කිරීමට, අපහාසයට පත් කිරීමට, තර්ජනය කිරීමට හෝ නිහඩ කිරීමට සමාජ මාධ්‍ය, ඊමේල් හෝ ජංගම දුරකථන භාවිතා කිරීමයි. ඔබට ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර්, ඉන්ස්ටග්‍රෑම් සහ වෙනත් සමාජ මාධ්‍යක් හරහා පහත සඳහන් ගැටළු ඇතිවිය හැකිය.
ඩොක්සිං (Doxing)
ඩොක්සිං යනු ඔබේ නිවසේ ලිපිනය, දුරකථන අංකය, ඊමේල් ලිපිනය හෝ සේවා ස්ථානය වැනි ඔබේ පුද්ගලික තොරතුරු ඔබේ අවසරයකින් තොරව බෙදා හැරීමයි. එවැනි ඔබගේ පෞද්ගලික තොරතුරු අපරාධකරුවකුට ඔබව බ්ලැක්මේල් කිරීමට හෝ ඔබ මෙන් පෙනී සිටීමට භාවිතා කළ හැකිය.
සයිබර් ස්ටොකින් (Cyber-stalking)
සයිබර් ස්ටොකින් යනු ඔබට හිරිහැර කිරීමට හෝ ඔබ සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට අන්තර්ජාලය හරහා ලබා ගත හැකි ඔබේ පෞද්ගලික දත්ත (ඔබේ මූල්‍ය කටයුතු, සමාජ සම්බන්ධතා තොරතුරු, පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය පිලිබඳ දත්ත, ඔබේ ගමන්බිමන් පිලිබඳ තොරතුරු ආදිය) රැස් කිරීමයි.
පළිගැනීම සඳහා අසභ්‍ය දර්ශන භාවිතය (Revenge porn)
රිවේන්ජ් පෝර්න් යනුවෙන් අදහස් කරන්නේ ඔබගේ අසභ්‍ය ඡායාරූප හෝ වීඩියෝ සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීම හෝ එවැනි අන්තර්ගතයන් අසභ්‍ය වෙබ් අඩවි වලට උඩුගත කිරීමයි. බොහෝ අවස්තාවලදී, මේ ආකාරයේ වාර්ථා වූ සිදුවීම් අදාළ කාන්තාවගේ හිටපු සහකරු (පෙම්වතා) විසින් සිදු කරන ලද්දක් වන අතර එමගින් ඔවුන් අපහාසයට ලක් කිරීම හෝ කීර්ති නාමයට හානි කිරීම අපේක්ෂා කෙරේ.
ආරක්ෂිත උපදෙස්