ආරක්ෂිත අන්තර්ජාල භාවිතය

ආරක්ෂිත අන්තර්ජාල භාවිතය

අප අන්තර්ජාලයේ බොහෝ කාලයක් ගත කිරීමට පුරුදු වී සිටී . සන්නිවේදනය, සාප්පු යාම, උපදෙස් සොයා ගැනීම සහ තවත් බොහෝ දේ සඳහා අපි අන්තර්ජාලය භාවිතා කරමු. නමුත් අන්තර්ජාලය අනාරක්ෂිත පරිසරයක් වන අතර ඔබ වගකීම් විරහිතව හා නොසැලකිලිමත් ලෙස හැසිරෙන්නේ නම් ඔබ අනතුරට පත් විය හැකිය.

අන්තර්ජාලය ආරක්ෂිතව භාවිතා කරන්නේ කෙසේද?
  • නාඳුනන අයගෙන් ලැබෙන කිසිදු ඇමුණුමක් විවෘත නොකරන්න
  • HTTPS සක්‍රියව නොමැති සැක සහිත වෙබ් අඩවි වලට පිවිසීමෙන් වළකින්න
  • විශ්වාසදායක ප්‍රභවයන්ගෙන් පමණක් මෘදුකාංග බාගත කරන්න . නොමිලේ ලබාදෙන යෙදුම් සහ වැඩසටහන් ස්ථාපනය කිරීමට පෙර ඒවා ගැන සැලකිලිමත් වීමට වග බලා ගන්න.
  • මෙහෙයුම් පද්ධති ඇතුළුව ඔබගේ වර්තමාන යෙදුම් නිතිපතා යාවත්කාලීන කරන්න.
  • ඔබගේ අන්තර්ජාල ගිණුම් තුළ පෞද්ගලිකත්වය සහ ආරක්ෂක සැකසුම් නිසි ලෙස යොදා කර ඇති බවට වග බලා ගන්න (උදා: විද්‍යුත් තැපෑල, සමාජ මාධ්‍ය ආදිය)
  • ඊමේල් සහ වෙබ් පිටු වල නොදන්නා සබැඳි ක්ලික් කිරීමෙන් වළකින්න
  • විද්‍යුත් තැපෑලක හෝ වෙබ් අඩවියක ඇති සබැඳි හෝ බැනර් මත ක්ලික් කරනවා වෙනුවට, ලිපින තීරුවේ වෙබ් අඩවිය ටයිප් කරන්න.
  • ඔබගේ උපාංගයේ ප්‍රති-වයිරස මෘදුකාංගයක් ස්ථාපනය කර එය යාවත්කාලීනව තබා ගන්න
  • අනිෂ්ට මෘදුකාංග අවහිර කිරීමට browser extensions සහ වෙනත් ආරක්ෂක සැකසුම් භාවිතා කරන්න.

ඔබේ තොරතුරු පෞද්ගලිකව තබා ගන්නේ කෙසේද?

1. කුකීස් කළමනාකරණය කරන්න

ඔබේ බ්‍රව්සරය විවිධ තොරතුරු රඳවා ගැනීමට කුකීස් භාවිතා කරයි . එහි මුල් අරමුණ වූයේ පිවිසුම් තොරතුරු ගබඩා කිරීමෙන් පරිශීලකයින්ට ගවේෂණය පහසු කිරීමයි. ඔබට අවශ්‍ය නොවන කුකීස් ඉවත් කිරීම, වෙබ් අඩවි වෙත සැරිසැරූ පසු එම වෙබ් අඩවි ඔබව ලුහුබැඳ යාමෙන් වළක්වා ගත හැකි හොඳම ක්‍රමයයි.

2. ද්වි-සාධක සත්‍යාපනය භාවිතා කරන්න

ද්වි-සාධක සත්‍යාපනය යනු පුද්ගලයෙකුගේ අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා සාධකයන් දෙකක් යොදා ගැනීමයි . එම සාධක ලෙස ඔබට මුරපදයක්, ඔබගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යවන ලද සබැඳියක් හෝ කේතයක් යන ඒවායින් දෙකක් අවශ්‍ය වේ. මෙවැනි දෙවන සාධකයක් යොදාගැනීම තොරතුරු ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඉවහල් වේ .

3. VPN භාවිතා කරන්න

VPNs, හෝ අතථ්‍ය පුද්ගලික ජාල යනු ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවය භාවිතයෙන් ආරක්‍ෂිත පුද්ගලික සම්බන්ධයක් ඇති කර ගැනීමේ ක්‍රමයකි.

එහිදී ඔබගේ VPN සත්කාරක සමාගම විසින් විශේෂයෙන් වින්‍යාස කරන ලද දුරස්ථ සේවාදායකයක් හරහා ඔබගේ IP ලිපිනය සඟවයි. වෙනත් වචන වලින් කිවහොත්, ඔබ VPN හරහා සැරිසරන්නේ නම්, VPN සේවාදායකය ඔබේ දත්තවල ප්‍රභවය බවට පත්වන අතර ඔබ පිවිසෙන වෙබ් අඩවි හෝ අන්තර්ජාල සේවා සැපයුම්කරු (ISP) සහ වෙනත් තෙවන පාර්ශවයන්ගෙන් ඔබ අන්තර්ජාලය හරහා යවන සහ ලබා ගන්නා දත්ත සඟවයි. VPN ක්‍රියා කරන්නේ ඔබේ සියලු දත්ත “ගුප්ත” බවට හරවන පෙරණයක් ලෙස ය. යමෙකු ඔබගේ දත්ත වලට ඇතුල් වුව ද ඒවා භාවිතය නිෂ්ඵල වනු ඇත.