වෙබ් බ්ලැක්මේල්

වෙබ් බ්ලැක්මේල්

ගෙවීමක් සිදු කිරීම නොකළ හොත් වෙබ් අඩවි වල අසභ්‍ය අන්තර්ගතයන් නැරඹු බව කන්ටැක්ට් ලිස්ට් එකෙහි සිටින සියලුම අයවලුන්ට හෙළි කරන බවට තර්ජනය කරමින් විද්‍යුත් තැපැල් පණිවුඩ හෝ සමාජ මාධ්‍ය හරහා පණිවුඩ එවා බිය ගන්වා කප්පම් ලබා ගැනීමට සම්බන්ධ සිදු වීම් වල වර්ධනයක් දක්නට ලැබේ.

පහත දැක්වෙනුයේ එබඳු තර්ජනාත්මක පණිවුඩයකි.

මෙබඳු විද්‍යුත් පණිවුඩ වල බොහෝ විට දුර්වල ව්‍යාකරණ හා අක්ෂර වින්‍යාසය අඩංගු වන අතර අහඹු ලෙස තෝරා ගත් පුද්ගලයන්ට යවනු ලැබේ. ඇතැම් විට අදාළ වින්දිතයාගේ යැයි පැවසෙන නොපැහැදිලි ඡායාරූප ද ඇතුලත් කර තිබිය හැකිය.

ඇතැම් පණිවුඩ වල යම් ලින්ක් සපයා ඇති අතර ඔබ ඒ මත ක්ලික් කිරීම හරහා ඔබේ සම්බන්ධතා ලැයිස්තුවට ප්‍රවේශය ලබා දෙන අනිෂ්ට මෘදුකාංග බාගත වීමක් වුවද සිදු විය හැකිය.

වැඩිහිටියන්ට පමණක් සුදුසු අසභ්‍ය දර්ශන නරඹන බව ප්‍රසිද්ධියට පත් වෙතැයි තර්ජනය කිරීමෙන් කෙනෙකු භීතියට පත් කල හැකි බව පණිවුඩය එවන්නා දනී. සමහර විද්‍යුත් පණිවුඩ වල ඔබගේ සත්‍ය විද්‍යුත් තැපැල් ලිපිනයක් හෝ මින් පෙර වංචාකාරී ලෙස සොරා ගත් මුරපදයක් සඳහන් කොට තිබිය හැකිය.

කාමුක දර්ශන හෝ වෙනත් ‘නරක හැසිරීම්’ සහිත වීඩියෝ ඔබ නැරඹු බව හෙළි කරන බව පැවසෙන තර්ජනයක් ඔබට ලැබුන හොත්,
  • ඉල්ලා ඇති මුදල කිසිවිටකත් නොගෙවන්න.
  • අදාළ විද්‍යුත් පණිවුඩ වලට විද්‍යුත් තැපෑලෙහි ඇති සබැඳි ක්ලික් නොකරන්න.
  • කලබල නොවන්න: මෙය මෙය බොහෝ පිරිසකට යවන ලද විද්‍යුත් තැපෑලක් බව මතක තබා ගන්න, ඔබේ පරිගණකයට බොහෝ විට එබඳු අනිෂ්ට මෘදුකාංගයක් බාගත වී නොමැතිය.
  • ඔබගේ මුරපද වලින් එකක් විද්‍යුත් තැපෑලෙන් නිවැරදිව උපුටා දක්වා ඇත්නම්, එම මුරපදය භාවිතා වන සියලුම ගිණුම්වල මුරපදය වහාම වෙනස් කරන්න.
  • අදාළ විද්‍යුත් පණිවුඩයෙහි සඳහන් ආයතනය හෝ වෙබ් අඩවිය හා සම්බන්ධ වී ඔබේ මුරපදය මේ ආකාරයෙන් නිරාවරණය වී ඇති බව ඔවුන්ට දන්වන්න. එවිට ඔවුන්ට ඒ සම්බන්ධයෙන් විමර්ශනය කළ හැකිය.

අදාළ විද්‍යුත් පණිවුඩය යම් වංචනික ක්‍රියාවක් සඳහා දරන ලද උත්සහයක් බැවින් ඔබට එය report@cert.gov.lk වෙත වාර්තා කළ හැකිය.